පිපිරුණු සබ්මැරීනයේ සිරවුණු නාවිකයන්
ලොවක් හැඬවූ කර්ස්ක්

ඒ 2000 වසරේ අගෝස්තු මාසය විය. දිනය නිශ්චයටම 12වැනිදාවය. රුසියාවට මායිම්වන නෝර්වේට වඩා සමීප බැරැන්ට්ස් මුහුදු පත්ලේ කිසියම් සිදුවීමක් සිදුවෙමින් තිබුණේය. එක්වරම ප්‍රභල පිපිරීමක් ඇති විය. බැරන්ට්ස් මුහුදු පත්ල කම්පා විය. බැරැන්ට්ස් මුහුදු පත්ලට පමණක් නොව එකී පිපිරීමේ ප්‍රභලත්වය නෝර්වේ ඇතුළු අවට රටවල් කිහිපයක්ම සොලවා දැමිමට සමත් විය.
කිසිදා ලෝකයට අමතක නොවන කඳුළුමය ඛේදවාචකයක මූලාරම්භය සටහන් වූයේ එසේය.

නෝර්වේහි භුමිකම්පා පරීක්ෂණ සහ අනතුරු ඇඟවීම වෙනුවෙන් ස්ථාපිත කර තිබූ මධ්‍යස්ථාන කිහිපයකම රිච්ටර් මාපක 2ට අඩු කම්පනයක් සටහන් කරමින් වාර්තා වූ මේ ප්‍රභල කම්පනය කුමක්දැයි වහවහා සොයා බැලීමට බලධාරීහු කටයුතු කළහ. එහෙත් එක් කම්පාවක් ගැන සෙවීමට උත්සාහ දරමින් සිටි විශේෂඥයන්ට තවත් නොබෝ වේලාවකින්ම තවත් කම්පනයක් ගැන සෙවීමට සිදුවිය.

ඒ වැඩි වේලා නොගොස්ම වඩා ප්‍රභල දෙවැනි කම්පනයක්ද වාර්තා වූ බැවිනි.
මේ දෙවැනි කම්පනයට හේතුවී තිබුණේද බැරන්ට්ස් මුහුදු පත්ලෙන් වාර්තා වූ ප්‍රභල පිපිරීමකි.

තොරතුරු ගලා එන්නට විය.

යුද අභ්‍යාසයක් වෙනුවෙන් උතුරු මුහුදට පැමිණි රුසියානු සබ්මැරීනයක අභ්‍යන්තරයේ පිපිරීමක් සිදුවී තිබිණි. ඒ සබ්මැරීනය ‘කර්ස්ක්‘ නම් විය. එතැන් සිට ගෙවී ගිය දින කිහිපය රුසියාවට පමණක් නොව සමස්ත මිනිස් සංහතියට ශෝකජනක දින කිහිපයක්ම විය.

සිදුවීමෙන් වසර විසිපහක් ගතව යන මේ මොහොතේදී වුවද කර්ස්ක් ඛේදවාචකය බොහෝ සිත්තුළ මතු කළ කඳුළු බිඳු වියළි නොමැති බව දැනගත හැකිය.

සමාජවාදී රුසියාව ශක්තිමත් වූයේ ආර්ථික අතින් පමණක් නොවේ. යුද ශක්තිය අතින්ද ශක්තිමත් වීම බලවත් රාජ්‍යයක් ලෙස අත්‍යවශ්‍ය සාධකයක් විය. එයට හේතුව වුයේ ධනවාදී ඇමරිකාව අනික් පසින් ප්‍රභල සතුරෙකු ලෙස ක්‍රියාත්මකව පැවතීමය.

සමාජවාදී රුසියාවේ බලවත්ම සමයේ ඔවුන් න්‍යෂ්ඨික ආයුද නොඅඩුවම නිපදවූ අතර කර්ස්ක් සබ්මැරීනය අයත් වූයේද න්‍යෂ්ඨික බලය සහිත යුද සබ්මැරීන අතරටය.

1992 වසරේදී වැඩ නිමවා 1994දී දියත් කරන ලද මෙවැනි දැවැන්ත සබ්මැරීන් නිපදවීමේ හැකියාව එකළ තිබුණා නම් ඒ රුසියාවට පමණක්ම විය.

කර්ස්ක් දිගින් මීටර් 154 ක් හා පළලින් මීටර් 18.2 ක් වූ අතර මුහුද මතුපිට විස්ථාපනය ටොන් 18200 ක් වු දැවැන්තයකු විය. මුහුදේ මීටර් 500 ක් ගැඹුරට කිමිදී, දිය යටින් ගමන් කල හැකි වූ මේ සබ්මැරීනයට මුහුද මතුපිට දී ගමන් කළ හැකි වූ උපරිම වේගය පැයට knots 32 ක් විය. දිය යටින් ගමන් ගැනීමේදී ඒ වේගය knots 16 ක අගයක් ගත්තේය.

සේවක මණ්ඩලය 112 කින් සමන්විත වූ කර්ස්ක් සබ්මැරීනයට අමතරව දැවැන්ත කෘෘස් මිසයිල 24ක් සහ ටෝපිඩෝ නමින් හඳුන්වන නෞකාවලට පහර දීමේ අවි 24ක් ගෙනයෑමට හැකියාව තිබිණි. මේ ටෝපිඩෝ විදීමේ ටියුබ් 8ක්ද සබ්මැරීනය සතු විය.

සබ්මැරීන, නෞකා සහ මුහුදු යාත්‍රා ගැන දන්නා අයට කර්ස්ක් යනු කොතරම් දැවැන්තයකු වීද යන්න සම්බන්ධයෙන් දළ අවබෝධයක් ලබා ගැනීමට මේ දිග පළල පමණක්ම ප්‍රමාණවත් වනු ඇත.

වසර 2000 අගෝස්තු මස 12වැනිදා නාවුක අභ්‍යාසයේ නිතරවෙමින් සිටින අවස්ථාව වන විට සබ්මැරීනයට අණ දුන් නිලධාරියා වූයේ කැප්ටන් ග්‍රෙනඩි ලයාවින්ය. ඔහු යටතේ නාවුක භටයන් 118 දෙනෙක් අභ්‍යාසයට සහභාගී වී සිටි අතර පිපිරීම සිදුවී ඇත්තේ අභ්‍යාසය අතරතුර බවද සොයා ගැනීමට රුසියානු බලධරයන්ට හැකියාව ලැබිණි.

ඉදින් 2000 වසරේ අගෝස්තු 12 වැනිදාව ගෙවී යන විටත් අභ්‍යන්තර පිපිරීමක් හේතුවෙන් කර්ස්ක් දැවැන්තයා බැරන්ට්ස් මුහුදු පත්ලේ ගිලීගොස් ඇති බව දැන සිටියේ රුසියානු බලධරයන් කිහිප දෙනෙක් පමණක් විය.

ඒ වන විට සමාජවාදී රුසියාව බිඳවැටී තිබුණු අතර අතීත සශ්‍රීක යුගයේදී නිම කළ යුද නෞකා, සබ්මැරීන් ඇතුළු සටන් යාත්‍රා සහ අවිආයුධ යල් පනිමින් තිබිණි.

මේ දැවැන්ත යුද යාත්‍රා නිසි ආකාර නඩත්තු කිරීමට රුසියාවට වත්කමක් වූයේ නැත. බින්දුවටම වැටී තිබුණු රුසියාව ව්ලැඩිමීර් පූටින් විසින් යළි නගා සිටීම ඇරඹුවා පමණි. එබැවින් තවදුරටත් බොහෝ කැපකිරිම් කළ යුතු විය.

නිසි නඩත්තුවකින් තොරවූ මෙවැනි අර්ධ අබලන් මුහුදු යාත්‍රාවක න්‍යෂ්ඨික අවිද සමග ගමන් කිරිම සැබවින්ම මරුවාට අතවැනීමක් බඳු විය.

එහෙත් දෙවැනි ලෝක යුද්ධයේදී තම භූමියට ඇතුළු වූ ජර්මන් හමුදාවට මරණයේ සීතය හොඳින් විඳීමට සලස්වමින් නැවත බර්ලිනය දක්වා එලව එලවා පහර දුන් රුසියානු හමුදා භටයන්ට මරණය සමග සෙල්ලම් කිරීම අමුත්තක් වූයේ නැත.

කර්ස්ක් පුපුරා ගියේ මෙවැනි වාතාවරණයක් මධ්‍යයේය.

නෝර්වේහි භූමි කම්පා පිළිබඳ දත්ත පරීක්ෂා කිරීමට ස්ථාපති කර ඇති ස්ථාන තුනකින් පිපිරීම පිළිබඳව වාර්තා වූ සියලු දත්ත පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබුණි. ඔවුහු පිපිරීම පිළිබඳ දිගින් දිගටම රුසියාවට දැනුම් දෙමින් සිටියහ. අනතුරක් සිදුවී තිබේ. එය ‘දැවැන්ත අනතුරක්‘ විය හැකිය. වහා ක්‍රියාත්මක විය යුතුය.

එහෙත් රුසියාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තිබිණි.

ආයුද යල් පැන ගොස්ය. නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවේ. බිඳ වැටුණු රුසියාව තවමත් සිටින්නේ නැගී සිටීමට උත්සාහ දරමිනි. සතුරාට තම අඩුපාඩු ප්‍රදර්ශනය කළ යුතු නොවේ. එබැවින්ම තව මොහොතක් ඉවසා දරා ගැනීමට නිර්භීත රුසියානුවන් ශක්තිමත් විය යුතුමය.

මුදාගැනීමේ මෙහෙයුම් රහසිගතව සංවිධානය කෙරෙමින් තිබුණි. ඒ මෙහෙයුම් මන්දගාමී වූ බවද අමුතුවෙන් කිවයුතු නොවේ.

එහෙත් අවසානාවන්ත ලෙස කර්ස්ක් සබ්මැරිනය අභ්‍යන්තරයේ ජිවිතය ඉල්ලා පිරිසක් සටනක නිරත වෙමින් සිටියහ.

සබ්මැරීනය ඉදිරියේ සිට පසුපසට කුටීර නවයකට බෙදා වෙන් කර තිබුණු අතර පිපිරීම සිදුවී ඇත්තේ ටෝපිඩෝ අන්තර්ගත කර තිබූ පළමු කුටීරයේ විය. පුහුණු මෙහෙයුම සඳහා ටෝපිඩෝ නිකුත් කිරීමේදී ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් පළමු පිපිරීම සිදුවී තිබිණි. එය එතරම් ප්‍රභල නොවූ නමුත් පළමු පිපිරීමෙන්ම සබ්මැරීනයේ කුටීර කිහිපයකටම හානි සිදුවිය. ජලය ඇතුළට කාන්දුවීම ඇරඹුනු අතර සබ්මැරීනය ගිලා බසින්නට විය.

එහෙත් වඩාත්ම හානිකර වී තිබුණේ දෙවැනි පිපිරීමය. පළමු පිපිරීමෙන් සබ්මැරීනය තුළ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යන්නට වූ බැවින් එයට සමගාමීව වඩා ප්‍රභල දෙවැනි පිපිරීම සිදුවී තිබිණි. වඩාත්ම හානිදායක පිපිරීමද එයම විය.
එයින් සබ්මැරීනයේ කෙළවර නවවැනි කුටීරය හැර අන් සියලුම කුටීර විනාශ වී ගිය අතර ඒ කුටිරවල සිටි සියලුම නැවියන්ද සැනෙකින් ජීවිතක්ෂයට පත් විය.
අවසන් නව වැනි කුටීරයේ පමණක් වඩා වේදනාත්මක ඛේදචවාචකයක් ඒ වන විටත් ලියැවෙමින් තිබිණි.

අගෝස්තු 13 වැනි දිනය වන විට නෝර්වේ රාජ්‍යයෙන් ලැබුණු වාර්තාවලට එකඟ වෙමින් තම සබ්මැරීනයක් බැරන්ට්ස් මුහුදු පත්ලේ අනතුරට ලක්ව පවතින බව ලොවට ප්‍රකාශ කිරීමට රුසියාවට සිදු විය. ඒ වන විටත් රුසියානු නෞකා කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙමින් තිබුණු අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව රුසියාව විසින් නෝර්වේ රාජ්‍යයට දැනුම් දී තිබිණි.

එහෙත් එසේ පැවසුවද මුදාගැනීම් පහසු වූයේ නම් නැත. බැරන්ට්ස් මුහුදේ මීටර් 108ක් ගැඹුරින් සබ්මැරීනය තැන්පත් වී තිබුණු අතර කටුක වූ කාලගුණය මුදාගැනීමේ කණ්ඩායම් මුහුදු පත්ල වෙත යැවීම තවත් අසීරු කරවීය.

අගෝස්තු 14 වන විට බැරන්ට්ස් මුහුදු පත්ලේ රුසියානු සබ්මැරීනයක් අනතුරට පත්වී ඇති බව සමස්ත ලෝකය පුරා උණුසුම් පුවතක් ලෙස පැතිර යන්නට විය. එහෙත් වඩාත් කණගාටුදායක පුවත වූයේ අනතුරට පත්වූ සම්බැරීනය අභ්‍යන්තරයේ සිරව සිටින පිරිසක් මිටියකින් එහි බඳට තට්ටු කරමින් තමන් ජීවතුන් අතර සිටින බවට සංඥා එවමින් සිටින බව දැනගන්නට ලැබීමය.

අගෝස්තු 15 වැනි දිනය උදා වන විටත් සබ්මැරීන් බඳට තට්ටු කරමින් සිදුවන සංඥාත්මක පණිවිඩ ලබාදීම අඛන්ඩව සිදුවෙමින් පැවතිණි. එයින් අදහස් වූයේ තවදුරටත් සබ්මැරීනය තුළ සිරවුණු නාවිකයන් ජීවතුන් අතර සිටින බවය. එහෙත් මුදාගැනීමේ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණේ නැත.

රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් මෙහෙයුම සමග සම්බන්ධ වෙමින් මුහුදු පත්ලේ සිට ජීවිතය අයදින නාවිකයන් බේරා ගැනීමට උපරිම උත්සාහ දැරුවද රුදුරු වූ කාලගුණය සහ ප්‍රමාණවත් නොවූ පහසුකම් ජීවිත කිහිපයක් මුහුදු පත්ලේ හුදකලා කරමින් අවාසනාවත් ඉරණමක් කරා ගෙන යමින් තිබිණි.
නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සහය නෞකා අනතුර වූ ස්ථානයට එවූවද කිසිවකුට ඒ වන විටත් සබ්මැරීනය දක්වා කිමිදීමට හැකියාව ලැබී තිබුණේ නැත.

විනාශ වූ සබ්මැරීනයට ළඟා වීමට කිමිදුම්කරුවන්ට හැකියාව ලැබුණේ අගෝස්තු 20වැනිදාය. ඔවුන් නාවිකයන් ජීවතුන් අතර සිටින බවට සංඥා ලැබුණු සබ්මැරීනයේ පිටුපස බඳ කොටසේ දොර අගුලක් බිඳ දැමීමටද සමත් වූහ.

එහෙත් කිසිවකුට සබ්මැරීනය ඇතුළට පිවිසීමට හැකියාව ලැබී තිබුනේ නැත.
ජලයෙන් පිරීගොස් තිබුණු සෙසු කුටීරවලට කැමරාවක් යැවීමට සමත් වූ නමුත් මළසිරුරු හැර කිසිවක් දර්ශන වී තිබුණේ නැත. අතිශය කණගාටුවට හේතු වෙමින් තවදුරටත් නෞකා බඳට තට්ටු කරමින් නිකුත් කෙරුණු සංඥාද අසන්නට ලැබුණේ නැත. නව වැනි කුටීරයේ සිරගතව සිටිමින් නෞකා බඳට තට්ටු කරමින් මෝස් කෝඩ් ආකරයට පණිවිඩ එවීමට උත්සාහ දැරූ කිසිවකු හෝ තව අවසන් උත්සාහය දරා නිහඬ වන්නට ඇත. ඔවුන් සිරවී සිටි කුටියේ ඔක්සිජන් අවසන් වීම ඒ විර හුස්ම නතර වීමට ආසන්නතම හේතුව වන්නට ඇත.

අනතුරට පත්වූ කර්ස්ක් සබ්මැරීනයේ සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව අගෝස්තු 21 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර ජනාධිපති පුටින් අගෝස්තු 23වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
එයින් පසුව මඳ විරාමයක් වෙනුවෙන් බැරන්ට්ස් මුහුදේ තිබූ නෞකා කැඳවන ලද අතර වඩා සංවිධානාත්මක ලෙස නැවත වරක් ඔක්තෝබර් මස නෞකා බලඇණියක් බැරන්ට්ස් මුහුද වෙත යවන්නට රුසියානු බලධරයන් කටයුතු කර තිබිණි.

2000 ඔක්තෝබර් 25 සහ නොවැම්බර් 7 යන කාලය අතරතුර සබ්මැරීනය තුළ තිබුණු සියලුම නාවික මළසිරුරු මතුපිටට ගෙන ඒමට රුසියානු කිමිදුම්කරුවෝ කටයුතු කළහ. ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යටතේ වේගවත් ලෙස ශක්තිමත් වෙමින් සිටි රුසියාව එයින් වසරකට පසු එනම් 2001 ඔක්තෝබර් මාසයේදී බැරන්ට්ස් මුහුදු පත්ලේ අසරණව සිටි කර්ස්ක් දැවැන්තයාද රුසියානු වරායක් වෙත ගෙන ඒමට සමත් විය.

එතැන් සිට අනතුරට හේතුව සොයා විමර්ෂන ආරම්භ කෙරුණු අතර අවසානයේ සොයාගනු ලැබුවේ පුහුණු ටෝපිඩෝ දියත් කිරීමේදී සතරවන ටෝපිඩෝ විදීමේ ටියුබයේ පිපිරීමක් සිදුවී ඇති බවය. එයින් ඇතිවූ දැඩි උෂ්ණත්වය හේතුවෙන් දෙවැනි ප්‍රභල පිපිරීම සිදුවී තිබිණි. මේ පිපිරීම් දෙකම සබ්මැරීනයේ ටෝපිඩෝ අඩංගුවන ඉදිරිපස පළමුවැනි කුටීරයේ සිදුවී තිබුණු අතර පිපිරීමේ ප්‍රභලත්වය අනුව සෙසු කුටීර සියල්ල විනාශ වී ගියද අවසන් නව වැනි කුටීරයට පමණක් පිපිරීමෙන් සිදුවූ හානි අවම වූ බැවින් එහි සිටි නැවියන්ට තවත් දින කිහිපයක් අවිනිශ්චත බව මැද කණගාටුදායක ලෙස ඛේදවාචකයක් පෘථිවි ඉතිහාස පොතේ ලියා තැබීමට අවස්ථාව ලැබිණි.

එහෙත් මේ සියල්ල අතර සබ්මැරීමේ අන්තර්ගතව තිබූ කෘෘස් මිසයිල එකකට හෝ හානි සිදු නොවීම අති සුවිශේෂ කරුණක් විය. ටෝපිඩෝ පිපිරීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් කෘෘස් මිසයිලද පුපුරා ගියේ නම් සිදුවන හානිය අති ප්‍රභල වනු ඇති බව අමුතුවෙන් කිව යුතු වූයේ නැත.

අවසානයේ සබ්මැරීනයේ සිටි සියලුම නාවිකයන්ට වීරත්වයේ පදක්කම් ලබාදීමට ජනාධිපති පුටින් කටයුතු කළේය. 2009 වසරේදී සබ්මැරීනයෙන් ගෙන ආ කොටස සිහිවටනයක් ලෙස ස්ථාපිත කරනු ලැබීය.

අනතුරට හේතුව ටෝපිඩෝ පිපිරීමක්ම නොවන බවටද කටකතා පැතිර තිබිණි. පිපිරීම ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් සිදුවූවක් බව එක් කටකතාවකිනුත්, පිපිරීම රුසියානු නැවකින්ම සබ්මැරීනයට එල්ල කෙරුනු පාහරයක් හේතුවෙන් සිදුවූ බව තවත් කටකතාවකිනුත් කියවිණි.

ඒ කෙසේ වුවද බැරන්ට්ස් මුහුදු පත්ලේ වීරයන් 118ක දෙනෙක් නිහඬවම දිවි පුදා තිබිණි.

ඔවුහු වීරයන් ලෙස රුසියානු ජනතාවගේ හදවතේ සදාකල් තැන්පත්වන අතරම මේ වීරයන් ගැන කතාව සිනමා පට ලෙසින් විශ්ව සාහිත්‍යයට එක්වූයේ එය සමස්ත ලෝක ඉතිහාසයට එක්වූ තවත් එක් අමතක නොවන කඳුළු බිඳුවක්ම වූ බැවිණි.

Ti Na Wewalage

කැප්ෂන්
1. කර්ස්ක් දැවැන්තයා නිදහසේ සයුරේ පිහිනා ගිය අවස්ථාවක්/ වරායට පැමිණි කර්ස්ක්
2.පිපිරුමෙන් ශේෂ වූ සංරක්ෂණය කළ සබ්මැරීන කඳ
3. සබ්මැරීනයේ දළ සැකැස්ම.
4. නාවුකයන්ගේ ඥාතීන් සමග දුක බෙදාගන්නා ජනාධිපති පුටින්.
5. වීර නාවුකයන් සිහි කර ඉඳි කෙරුණු සිහිවටනය
6. නාවිකයන්ගේ සොහොන් කොත්

About Author

Related Post

Leave a Reply

Leave a Reply

WP Radio
WP Radio
OFFLINE LIVE